ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතිහාසය
රාම රාවණා යුගය දක්වා විහිදී ගිය එෛතිහාසික පසුබිමක් ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ඇත. බලංගොඩ සිට ඉඹුල්පේ කොට්ඨාශයට ඇතුළු වන විට උතුරු දෙසින් දකින්නට ඇති සමාන උසකින් යුත් කඳු යුගලක් සහිත කඳු වැටියකි. උඩුකුරුව වැතිරී සිටින කාන්තාවකගේ පියයුරු යුවල ලෙසින් පෙනෙන දෙතනගල කඳු මුදුන් දෙකට දෙදන තැබූ රාම ඔහුගේ දුනුදිය ඇද රාවණා මරන්නට රාම ශරයක් යැවූ බවත් එය පෙට්ටිගල කඳු වැටියේ ගලක් දෙපළු කොට (රාවණා කපොල්ල) ගොස් හුණුවල වෙල්යායේ හුණු ගලක වැදී ගොඩකවෙල බිබිලෙගම වෙල්යායට වැටුන බවත්, එම හීය වැටුණ ස්ථානයේ තිබූ හබරල අලයක ඇනී රැදුන බවත් එම රන් හීය සමන් දෙවොලේ දිය කැපීම සඳහා ගෞරවයෙන් වඩම්මන බවත් සිංහලයාගේ විස්වාසයයි. බිබිලෙගම වෙල් යායෙහි නොසිඳෙන දිය බුබුල එම හීය වැටුණ ස්ථානය බව විශ්වාස කරේ.
දෙතනගල පාමුල පිහිටා ඇති බොල්තුඹේ සමන් දේවාලයෙහි රාවණ රජුගේ පුෂ්පක රථයේ ආකෘතියක් ඇති අතර එය එළියට වැඩම වුවහොත් නොනවත්වාම වැසි වැටෙන බව පැවසේ. මෙම රථය එළීයට වැඩවවීම පිළිබඳ සටහනක් ඉංග්‍රීසි පාලන සමයේහි දී හමුවේ.
මෙම කොට්ඨාශයේ රාවණාකන්ද නම් වූ ග්‍රාම නිලධාරී වසමක් වේ.මෙම වසමෙහි එක් මායීමක් වූ කඳු වැටියේ ඇති දොරගල නම් වූ පර්වතයෙහි ගල් දොරක් සහිත ලෙනක් තිබූ බවත් එය සමහර දිනවල දී විවරව පහනක් දැල් වී තිබූ බවත්, ගැමි කාන්තාවක් අතු ගාමින් සිටින විට එම ලෙනෙහි ආලෝකය දැක තම දරුවාට එම ආලෝකය අතෙහි තිබූ "ඉලපත" කන්ද දෙසට දිගු කරමින් පෙන්වනවිට ගල්දොර වැසී ගිය බවත් ජන වහරේ සඳහන් වේ.
රාවණා යුගය පිළිබඳ කියැවෙන කතා රැසක් මෙම ප්‍රදේශය ආශ්‍රිතව ඇති අතර මහ එළිය කැලය සීතා රඳවා සිටි ප්‍රදේශය ලෙස සැළකේ. එම ප්‍රදේශය ආශ්‍රිතව වැවෙන සීතා පේර, සීතා ගම්මිරිස් සහ විල්ළුණු, සීතාව හා සම්බන්ධ වූ කතාන්දර ඇත.
බුදුන් වහන්සේ සිරිපා පිහිටුවන්නට මහියංගනය සිට රට මැදට වඩින විටගිමන් නිවූ ස්ථානයක් මෙම කොට්ඨාශයේ බුදුන්වෙල ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත. මෙම වසමෙහි වෙල්යායක ඇති සුන්දර ගල්තලාව බුදුන් වහන්සේ ගිමන් නිවූ ස්ථානය ලෙස සළකයි.
බුදුන්වහන්සේ සිරිපා පිහිටුවීමට දෙතනගලට වඩින විට මාර දිව්‍ය පුත්‍රයා එම කඳු මුදුනේ ගල්තලාව මත ගැරඩියෙකු මරා දමා තිබූ බවත්, එහෙයින් එම ස්ථානය කිලිටි වී ඇති බැවින් බුදුන් වහන්සේ ආපසු වැඩිය බවත් සඳහන් වේ. එම කඳු වැටිය ඇසුරින් ගලා හැලෙන දිය ඇල්ල වර්තමානයේ දී ගැරඩි ඇල්ල ලෙස හැදින්වේ.
දුටුගැමුණු කුමරු කොත්මලය බලා යන ගමනේ සීලගම අගලගම ප්‍රදේශයේ ද රැදී සිටි බව සඳහන් වේ. දුටුගැමුණු රජුගේ සේනාංකයට අවශ්‍ය අවි ආයුධ නිෂ්පාදනය කරනු ලැබුවේ මෙම කොට්ඨාසයේ තොටපල්ල වසමට අයත් හටන්පොළ ගමෙහි විසූ අචාරීන් විසින් බව කියවේ.
එසේ ම සද්ධාතිස්ස රජු පුත් වට්ට ගමිණි අභය රජුට සටන් සඳහා අවශ්‍ය සහය ද හටන්පොළ ප්‍රදේශයෙන් ලැබී ඇති අතර එම රජු නැවතී සිටින ලදැයි සලකනු ලබන ගල්ලෙන් විහාර ගණනාවක් මෙම කොට්ඨාසයේ ඇත.
සීතාවක රාජසිංහ රජු රජකම් කරන කාලයෙහි ඌව පාලනය කළ කුමාරසිංහ රජු විසින් සිදුකොට ඇත. කුමාරසිංහ රජු හා සීතාවක රාජසිංහ රජු අතර නිබඳව සටන් පැවතුන අතර මෙම රජුන් දෙදෙනාගේ දේශසීමා මායිම් වෙන් වූයේ දෙනගම රාජධානිය හා මැදගම රාජධානියෙනි. සීතාවක රාජසිංහ රජු මැදගම රාජධානීය ද අත්පත් කර ගැනීම සඳහා සටන් මෙහෙයවීය. කුමාරසිංහ රජු මැදගම ප්‍රාදේශිය රාජධානිය හරහා සේනාව රැගෙන සටනට යන අතර මැදගම නුවර අසල වූ කොස් ගසක (කොස් රුප්පේ) පඬුරක් ගැට ගසා කතරගම දෙවියන්ට බාර වී සටන් මෙහෙයවා ඇත. එම සටන අවසන් වූයේ හුණුවල පේරුස් ඇල අසල දී රජූන් දෙදෙනා අතර සාම සම්මුතියක් ඇති කර ගැනීමෙනි. රජුන් දෙදෙනාගේ අතෙහි වූ පේරැස් මුදු ඔවුන් දෙදෙනා අතර වූ දිය පහරකට දමා දෙනගම් රාජධානියට අයත් ප්‍රදේශය සීතාවක රජුට ද මැදගම රාජධානියට අයත් ප්‍රදේශය කුමාරසිංහ රජුට ද අයත්වන සේ ගිවිසුමකට බැඳී සටන් අවසන් කොට ඇත. ඔවුන් පේරැස් මුදු දැමු ඇල වර්තමානයේ ද පේරැස් ඇල ලෙසින් හැඳින්වේ.
සටන් අවසන් කොට ආපසු පැමිණි කුමාරසිංහ රජු පඬුරු ගැට ගැසූ කොස් ගස ආශ්රිත ප්‍රදේශය පසුබිම් කොටගෙන කතරගම දෙවිදුන් සඳහා දෙවොලක් ඉදිකොට උග්ගල් අළුත්නුවර කුඩා කතරගම් දේවාලය පිහිටුවා එය පිහිටි මැදගම් නුවර අළුත් නුවර බවට පත්කොට ඇත. මැදගම් නුවර පිහිටි අෂ්ඨඵලරුග බෝධිය ද මෙම පුද බිම ආසන්නයේ පැවති බව කියවේ. මෙම දෙවොල අළුත්නුවර ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත.
විදේශිය ආක්රමණවලට නතු වූ ලංකාවේ ලන්දේසි බලය ද මෙම ප්‍රදේශයේ ව්‍යාප්තව තිබී ඇත. කණතිරියන්වෙල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි කතෝලික දේවස්ථානය එම බලපෑමට නතු වූ බව කියාපාන ඉපැරණි ආගමික ස්ථානයකි.
ගමනාගමනය සඳහා පහසුකම් ඉතාමත් අඩු යුගයක් වූ හෙයින් ගමන් යන කෙටි මාර්ග කිහිපයක් මෙම කොට්ඨාසය හරහා වැටී ඇත. මධ්‍යම කඳුකරය හරහා කුරුණෑගල සිට නුවර එළිය සාමිමළයට යෑම සඳහා මාර්ගයක් ද මෙම කොට්ඨාශයේ මධ්‍යම කඳුකරයේ කඳු වැටි හරහා පැවතුනි. සිරිපා නැගීමට වූ කෙටි මාර්ගයක් ද තිබූ බව සඳහන් වේ.
ඉංග්‍රිසී පාලන සමයේ සුදු නිලධාරීයෙකු වෙඩි ලුණු ලබා ගැනීමට සිරිපා අඩවියේ ගල් ලෙනකට ගිය මාර්ගය නාම්බු පාර යනුවෙන් හඳුන්වන අතර අසුපිටින් යෑම සඳහා දෙපස ගල් අල්ලා නාම්බු වැල්ල අතුරා සකසන ලද මාර්ගය වර්තමානයේ ද වන වන පෙතෙහි හඳුනාගත හැකි සළකණු සහිතව දැකිය හැකි ය.
නුවර යුගයට අයත් විහාරස්ථාන කිහිපයකි. කනතිරියන්වල වසමේ එළුගාල පන්සල හා අලුත් නුවර දේවාලය සමග ඇති විහාරස්ථානය ටැම්පිට විහාර වන අතර, අනෙකුත් විහාරස්ථාන දෙල්ගහතැන්න පන්සල, මද්දෙගම පන්සල, කරගස්තලාව පන්සල, ඉඹුල්පෙ පන්සල යනුවෙන් ජනතාව අතර ප්‍රචලිත ය.